Thursday, January 24, 2013

mass communication


E.M. Bandula Mahesh 
A/R 58722
AF/07/5180
MASS COMMUNICATION
NEW MEDIA 

රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ක‍්‍රම
සන්නිවේදන මාධ්‍යයේ පෙරලියක් සිදුකල මාධ්‍යයක් ලෙස රූපවාහිනිය හැඳින්විය හැකිය. මෙය ඉංගී‍්‍රසි භාෂාවෙන් Television ලෙස හඳුන්වයි. මෙහි වචනාර්ථය ගත් කළ දුරසිට දැකීමයන අදහස ගෙනදෙයි. රූපවාහිනිය තුලින් ශ‍්‍රව්‍ය දෘශ්‍යය යන දෙඅංශයම සම්පේ‍්‍රෂණය කළ හැකිය. ඉතා සරලව දක්වන්නේ නම් එක් ස්ථානයක නිපදවන පින්තූර හා ශබ්ද තවත් ස්ථානයකට එලෙසින්ම යැවීම මෙමඟින් සිදු වේ. මෙය සිදුකරනුයේ විද්‍යුත් තාක්ෂණික කි‍්‍රයාදාමයක් මඟිනි.
මෙලෙස කි‍්‍රයාත්මක වන රූපවාහිනිය මගින් විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරයි. ඒවා සජීවී, පටිගත කල, ආදී ලෙස විවිධාකාර විය හැකිය. එම වැඩසටහන් ප‍්‍රවෘත්ති, ක‍්‍රීඩා, ආර්ථික, නාට්‍ය, චිත‍්‍රපට, සාකච්ඡා, සංගීත වැඩසටහන් ආදී විවිධ විය හැකිය. ඒවා තනි කැමරා හෝ බහු කැමරා multi camera නිෂ්පාදන විය හැකිය. කෙසේවුවද මෙම වැඩසටහන් නිෂ්පාදනය කරන ක‍්‍රමවේද හතරක් මූලිකව හඳුනාගත හැකිය.
1.      විද්‍යුත් ප‍්‍රවෘත්ති රැස් කිරීමේ ක‍්‍රමය. ENG - Electronic News Gathering  
2.      විද්‍යුත් ක්‍ෂෙත‍්‍ර නිෂ්පාදන ක‍්‍රමය. EFP -Electronic Field Production
3.      මැදිරි නිෂ්පාදන ක‍්‍රමය. Studio Production
4.      බාහිර විකාශන නිෂ්පාදන ක‍්‍රමය. OB - Outside Broadcasting Production
විද්යුත් ප‍්‍රවෘත්ති රැස් කිරීම ENG මෙම ක‍්‍රමය රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේදී ප‍්‍රබලව යොදාගනී. මෙහිදී ජංගම සැහැල්ලූ කැමරා හා වීඩියෝ පටිගත කිරීමේ උපකරණ භාවිත කොට යම් ස්ථානයක සිදුවීමක් වාර්තා කිරීමසිදුවේ. (චන්ද්‍රසිරි , 2007: 55)
27-4031.00-1.jpg





මෙම ක‍්‍රමය මගින් වැඩසටහන් පටිගත කිරීමේදී බරින් අඩු කුඩා කැමරා යොදාගනී. එයට සරිලන කැසට්පට භාවිතා කරයි. උපකරණ සලකා බලන කල කැමරාව, මයික්‍රොෆෝනය, වීඩියෝ පටිගත කිරීමේ යන්ත‍්‍රය භාවිතා කරමින් බැටරි මගින් මෙම ක‍්‍රමයට පටිගත කිරීම් කළ හැකිය. මෙම ක‍්‍රමය යටතේ කාලය, ශ‍්‍රමය ඉතුරු වෙයි. පූර්ව සූදානමක් විශේෂයෙන් අවශ්‍යය නොවේ. විශාල පිරිසක් අවශ්‍යය නැත. වැඩසටහන් නිෂ්පාදක, කැමරා ශිල්පියා, පටිගත කරන ශිල්පියා, අවශ්‍යය නම් ආලෝකකරණ ශිල්පියා යන අයගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් මෙම ක‍්‍රමය සඳහා ප‍්‍රමාණවත් වෙයි. එබැවින් අඩු ශ‍්‍රමයක් හා කාලයක් ගත වීම මෙහි විශේෂ වාසියකි.
මෙම ක‍්‍රමය යටතේ ප‍්‍රවෘත්තිමය අවස්ථා ආවරණය, කාලීන වැඩසටහන් ආවරණය, සම්මුඛ සාකච්ඡා, ජනතාවගේ අදහස් විමසීම්, ගවේෂණාත්මක තොරතුරු එක්රැස් කිරීම් ආදී විවිධ දේ සඳහා මෙම ENG ක‍්‍රමය යොදාගනී.
download.jpg
අද වන විට තාක්ෂණයේ දියුණුවත් සමඟ ම මෙම ක‍්‍රමයට සහභාගී වන පිරිසද අඩු වී ඇත. අද camcorder උපකරණය නිසා මෙම ක‍්‍රමයට පටිගත කිරීම් තනි පුද්ගලයෙකුගේ කාර්යයක් බවට පත්ව ඇත. කැමරාවට සවිකර ඇති පටිගත කිරීමේ උපකරණය පැමිණීම නිසා පටිගත කරන ශිල්පියාගේ කාර්යභාරය ඉවත්ව ඇත. කෙසේවුවද මෙම ENG ක‍්‍රමය අද වන විට විශාල වැඩසටහන් ප‍්‍රමාණයක් නිෂ්පාදනය සඳහා රූපවාහිනී නාලිකා භාවිතා කරනු ලබයි. කාලය ඉතුරු වීම, මූල්‍ය පිරිවැය අඩු වීම, අඩු කාර්යමණ්ඩලයක් සිටීම, නිෂ්පාදනය පහසු වීම ආදී විවිධ වාසි සහගත කරුණු නිසා මෙම විද්‍යුත් ප‍්‍රවෘත්ති එක්රැස් කිරීමේ නිෂ්පාදන ක‍්‍රමය බොහෝ රූපවාහිනී නාලිකාවල වැඩසටහන් නිෂ්පාදනයට භාවිතා කරයි.
EFP නැතිනම් Electronic Field Production ක‍්‍රමයද රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සඳහා ප‍්‍රබලව භාවිතාකරයි. (Wikipedia (2013.01.05)1.55 P.M). මෙහිදී රූපවාහිනී මැදිරියෙන් බැහැරව එළිමහන් දර්ශන තලයක සිට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම ක්‍ෂෙත‍්‍ර නිෂ්පාදනය ලෙස හැඳින්වේ. මෙම ක‍්‍රමයේදී  ඕනෑම වැඩසටහනක් නිෂ්පාදනය කළ හැකිය. සංගීතමය, වාර්තා, නාට්‍ය, පර්යේෂණ ආදී  ඕනෑම වැඩසටහනක් මෙම ක‍්‍රමයට අනුව නිෂ්පාදනය කළ හැකිය.




මෙම නිෂ්පාදන ක‍්‍රමය යටතේ විශාල නිෂ්පාදන කණ්ඩායම් කටයුතු කරයි. එසේම තනි කැමරා හෝ බහු කැමරා භාවිතා කරනු ලබයි. මෙම ක‍්‍රමයේදී විශාල පිරිවැයක් , කාලයක් පෙර සූදානමක් පූර්ව සැලසුම් කල වැඩසටහන් ඉහල තාක්ෂණයක්, දක්ෂ කාර්මික ශිල්පීන් ආදී බොහෝ දේ අවශ්‍යය වේ. මූලිකවම නිෂ්පාදක හෝ අධ්‍යක්ෂකවරයාගේ පාලනය,  පිටපත හා මැදිහත් වීම මත මෙම වැඩසටහන් නිෂ්පාදනය වෙයි.
මෙම ක‍්‍රමය යටතේ වැඩසටහන් නිෂ්පාදනයේදී නිෂ්පාදන අදියර තුනක් භාවිතා කරයි.
පූර්ව නිෂ්පාදන අවධිය - Pre Production Period
රූපගත කිරීමේ අවධිය  - Shooting Period
පශ්චාත් නිෂ්පාදන අවධිය -  Post Production Period

පූර්ව නිෂ්පාදන අවධියේදී සිදුවන්නේ අදාල වැඩසටහනේ මූලික පියවරයි. එනම් කිසියම් අදහසක් ඇතිවීමේ සිට එය පිටපත් කර, සැළසුම් කර, සූදානම් කිරීම දක්වා සියලූම කටයුතු මෙම අවධියට අයත් වේ. පසුව රූපගත කිරීමේ අවධියේදී අදාළ වැඩසටහන පිටපතට අනුව රූගත කරනු ලබයි. විවිධ දර්ශනවල , විවිධ අය, විවිධ ශබ්ද ප‍්‍රයෝග එයට සහය වෙයි. පශ්චාත් නිෂ්පාදන අවධියේදී සිදුවන්නේ අදාළ වැඩසටහන විකාශනය කිරීමට සුදුසු වනුසේ අදාල සංස්කරණය කිරීමයි. දෘශ්‍ය ප‍්‍රයෝග, ශබ්ද ප‍්‍රයෝග, වෙනත් තාක්ෂණික ක‍්‍රම භාවිත කරමින් අදාළ පිටපතට සරිලන සේ සංස්කරණය සිදුකරයි.

මෙම ක‍්‍රමයේදී විශාල පිරිසක්, විශාල ශ‍්‍රමයක් වැය කිරීමට සිදු වේ. විශාල නිෂ්පාදක කණ්ඩායමක් මෙම එෆ් ජී ක‍්‍රමය යටතේ වැඩසටහනක් නිෂ්පාදනය කිරීමට දායක වේ. නිෂ්පාදක, අධ්‍යක්ෂක, සහය අධ්‍යක්ෂක, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, කැමරා සහයකවරුන් , පටිගත කිරීමේ ශිල්පීන්, කාර්මික ශිල්පීන්, ට‍්‍රැක්ඩොලි කි‍්‍රයාකරවන්නන්, රියදුරන් ආදී විශාල පිරිසක් මෙම ක‍්‍රමය යටතේ වැඩසටහන් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වේ. එසේම අදාල වැඩසටහනේ ස්වභාවය අනුව ඊට තවත් පිරිස් සම්බන්ධ වේ. කලාකරුවන්, කලා අධ්‍යක්ෂකවරුන්, පසුතල ශිල්පීන්, අංග රචනා ශිල්පීන්, නළු නිළියන්, නිවේදකයින්, ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, ආදී තවත් පිරිස් මෙයට දායක වෙයි. වැඩසටහනේ ස්වභාවය අනුවය. එය වාර්තා, නාට්‍ය, සංගීතමය, ගවේෂණාත්මක, සාකච්ඡා,  ආදී විවිධ වැඩසටහන් අනුව වෙනස් වේ.
මෙම ක‍්‍රමය මගින් වඩාත් කලාත්මක, නිර්මාණශීලී වැඩසටහන් නිෂ්පාදනය කල හැකිය. මනා සූදානමක්, සැළසුමක්, විශාල පිරිසක් , විශාල මුදල් යෙදවීමක්, දක්ෂ ශිල්පීන් හා උසස් තාක්ෂණික උපකරණ භාවිත කරන බැවින් මෙම ක‍්‍රමය හරහා උසස් වැඩසටහන් නිෂ්පාදනය කළ හැකි වේ.  මේ හරහා වැඩසටහනේ ගුණාත්මකභාවය සේම නරඹන පේ‍්‍රක්ෂකයාගේ ප‍්‍රසාදයද ඇති වේ.
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය සඳහා යොදාගැනෙන තෙවන ක‍්‍රමය වන්නේ මැදිරි නිෂ්පාදන ක‍්‍රමයයි. Studio Production ලෙස මෙය හඳුන්වයි. ඉහතින් දැක්වූ ක‍්‍රම දෙකටම වඩා සංකීර්ණ වූ නිෂ්පාදන ක‍්‍රමයකි. බොහෝ විට සජීවී විකාශන Live Telecast වැඩසටහන් ඉදිරිපත් කරනුයේ මෙම මැදිරිවල සිටය. සෑම රූපවාහිනී මාධ්‍ය ආයතනයක් තුළම මැදිරි දක්නට ඇත. සමහර අවස්ථාවලදී ආයතනයෙන් බැහැරව මැදිරි පිහිටා ඇත. ඒවා අදාළ අවශ්‍යතා, පහසුකම් මත කුඩා විශාල විය හැකිය.
220px-MDR_Kripo_live.jpg
මැදිරිය තුළ නිෂ්පාදනය කරන වැඩසටහන් මූලික වශයෙන් කොටස් 2කි.
1.      පූර්ව පටිගත කළ වැඩසටහන්
2.      සජීවී වැඩසටහන්
පූර්ව පටිගත කළ වැඩසටහන් පළමුව පටිගත කර සංස්කරණය කර පසුව විකාශනය කරනු ලබයි. සජීවී වැඩසටහන් යනු පූර්ව පටිගත කිරීමකින් තොරව කිසියම් සිදුවීමක් සිදුවන මොහොතේම එහි දර්ශන විකාශනය කිරීමයි. එහිදී අදාළ සියලු කටයුතු එවෙලේම සිදුවේ. සංස්කරණය, පටිගත වීම්, විකාශනය කිරීම් ආදී සියලු දේ සජීවී ලෙසින්ම සිදුවේ.
රූපවාහිනී මැදිරියක් යනු සංකීර්ණ ස්ථානයකි. තුල ශබ්දය, දෝංකාරය වැළැක්වීමට කටයුතු කර ඇත. වැඩසටහන් නිෂ්පාදනය සඳහා කුඩා වේදිකාවක් ඇත. කැමරා, මයික්‍රොෆෝන්, ආලෝකකරණ පහසුකම්, උචිත වාතාශ‍්‍රය, සැපයුම් පද්ධති ආදී පද්ධති රාශියක් දක්නට ඇත. චිත‍්‍රාගාරය Studio හා පාලන මැදිරිය control room වශයෙන් මැදිරිය කොටස් දෙකකින් සමන්විත වෙයි. එසේම මැදිරිය විශේෂ ආකාරයට නිර්මාණය කර ඇත. ඉහතින් දැක්වූ පද්ධතිවලට අමතරව මෙය ගොඩනැගීමද විශේෂිත ආකාරයට සිදු කර ඇත. බාහිර ශබ්ද වලින් තොරව නිර්මාණය කර ඇත. බිත්ති උස් හා ඝනය. උස් සිවිලිමක් දක්නට ඇත. බිත්ති ශබ්දය උරාගන්නා ලෙසින් සකස් කර ඇත. මැදිරිය බිම සමතලය. කැමරා ගැස්මකින් තොරව ධාවනය කළ හැකි පරිදි සකසා ඇත. බිත්තිය ආසන්නයේ කේබල් ඇදීමට තීරු වෙන් කර ඇත. වහලය සිවිලිම් කර ආලෝක පද්ධති ඉදිකර ඇත. විශාලත්වය අනුව මැදිරි ලොකු, මධ්‍යම, කුඩා ලෙස වර්ග කළ හැකිය. ඒවා අවශ්‍යතා මත සකස් කර ඇත.
රූපවාහිනී මැදිරිය මූලික කොටස් 2කි. එනම් චිත‍්‍රාගාරය හා පාලන මැදිරිය වශයෙනි.
චිත‍්‍රාගාරය Studio මූලිකවම වැඩසටහන් නිෂ්පාදනය කිරීමට සකස් කර ඇත. පසුතල දර්ශන, කැමරා, මයික්‍රොෆෝන්, ආලෝක ලාම්පු ආදී උපකරණ මෙහි සවි කර ඇත. නිෂ්පාදනයේ සම්පත් දායකයින් රැඳී සිටින්නේද මෙම චිත‍්‍රාගාරයේය. චිත‍්‍රාගාරයේ වැඩි ඉඩක් වෙන් වන්නේ වැඩසටහනට අවශ්‍යය පසුතලය හා වේදිකා සැරසිලි සඳහාය. එසේම අවශ්‍යය පරිදි කැමරා සවි කර ඇත. ඒවා අනෙක් කැමරා මෙන් නොව විශාලය. ඒවා අදාළ කෝණ ලබා ගත හැකි පරිදි පිහිටුවා ඇත. සමහර අවස්ථාවල crane දොඹකර සවි කර ඇත.  සියලුම කැමරා පාලන මැදිරිය හා සම්බන්ධ කර ඇත. එසේම චිත‍්‍රාගාරයේ ඉහළ සිවිලිමේ බාල්කවල ආලෝක පහන් සවිකර ඇත. ඒවා විවිධ හැඩයේ විවිධ වර්ණ වලින් යුක්තය. ප‍්‍රධාන ආලෝක, පිරවුම් ආලෝක හා පසුපස ආලෝක සඳහා විවිධ ලාම්පු සවි කර ඇත. ඒවා පාලක පුවරු මගින් පාලනය කරයි. එසේම බිත්ති මත විවිධ උපකරණ සම්බන්ධ කරන කේබල්, පේන, විදුලි පුවරු, පාලක පුවරු, ශ‍්‍රව්‍ය දෘශ්‍ය කේබල්  සවි කල හැකි කෙවෙනි sockets සවි කර ඇත. මේ ආකාරයට මැදිරියේ චිත‍්‍රාගාරය අතිශය සංකීර්ණය.
මීළඟට මැදිරියේ හදවත ලෙස සලකන පාලන මැදිරිය විමසා බැලිය යුතුය. පාලන මැදිරිය චිත‍්‍රාගාරයට යාබදව පිහිටා ඇත. වීදුරු කවුලුවකින් දෙඅංශය වෙන් කර ඇත. චිත‍්‍රාගාරයේ සිදුවන සියලුම දේ පාලක මැදිරියට දර්ශනය වේ. චිත‍්‍රාගාරයේ සිදුවන සියලුම දේ පාලනය කරනුයේ මෙම පාලන මැදිරියයි. චිත‍්‍රාගාරයේ නිෂ්පාදනය වන වැඩසටහන නිවැරදි ලෙස පටිගත කිරීම පාලනය කිරීම සිදුවන්නේ මෙම පාලක මැදිරිය මගිනි. මේ තුළ තිබෙනුයේ සෝදිසි යන්ත‍්‍ර හෙවත් monitor.
රූපය, ශබ්ධය, ආලෝකය, ආදී පාලන උපකරණ මේ තුළ ඇත. මෙහි ඇති විවිධ monitor විවිධ කාර්යයන් සිදුකරයි. මේ තුළ ඇති ප‍්‍රධාන උපකරණ අතර
කැමරා පාලන උපකරණ – CCU- Camera Control Unit
විශේධ දෘශ්‍ය ප‍්‍රයෝග කරන යන්ත‍්‍රය    Special Effects Generator
දෘශ්‍ය සංකලන පාලන පුවරුව –Vision Switcher
ආලෝක පාලන පුවරුව–Lighting Control
හඩ පාලන පුවරුව  - Sound Control Panel
ශ‍්‍රව්‍ය සංකලන උපකරණ – Audio Mixer
ඕඩියෝ කැසට් පටිගත කිරීමේ යන්ත‍්‍ර  – VCR Video Cassette Recorders
සංගීත කැසට්පට හා තැටි ධාවන යන්ත‍්‍ර -  Audio cassette Recorder & Turntable
අන්තර් පුද්ගල සන්නිවේදන උපකරණ - Inter Personnel Communication System

800px-SKY_Sport24_PCR.jpg

ආදී මූලික උපකරණ රාශියක් මේ තුළ ඇත. මේවා කි‍්‍රයාත්මක කිරීමට දක්ෂ, පලපුරුදු තාක්ෂණික නිලධාරීන් අවශ්‍යය වේ. එවැනි වෘත්තිමය නිළධාරීන් පිරිසක් මෙම මැදිරි නිෂ්පාදන වලට දායක වේ. මූලිකව නිෂ්පාදන පාලන අංශයේ අධ්‍යක්‍ෂකවරයා, දෘශ්‍ය සංකලන ශිල්පියා හා සහය අධ්‍යක්‍ෂකවරයා කටයුතු කරයි. වැඩසටහනේ සියලුම නිෂ්පාදනය සිදුවන්නේ අධ්‍යක්‍ෂකවරයාට අනුවය. ඔහු ප‍්‍රධාන තිරය අසල සිට උපදෙස් ලබාදෙයි. අදාළ රූපරාමු පාලනය කරනුයේ දෘශ්‍ය පාලන අංශය මගින් දෘශ්‍ය සංකලන ශිල්පියා විසිනි. ඔහු අධ්‍යක්‍ෂවරයාගේ උපදෙස් මත අදාළ රූපරාමු ලබාදෙයි. ප‍්‍රයෝග එක් කරයි. ඔහුට සහය වීමට තාක්ෂණික කළමනාකරුවෙකු සිටි. ශබ්දය පාලනය කිරීම සඳහා ප‍්‍රධාන ශබ්ද පරිපාලකවරයා සිටී. ඔහුට සහය වීමට සහයකයකුද සිටී. ඔහු audio control consol  අභියස සිට අදාළ ශබ්ද පරිපාලනය කරයි. ශබ්ද අඩු වැඩි කිරිම,  ප‍්‍රයෝග එක් කිරීම මෙම අංශය මගින් සිදුකරයි. මීට අමතරව මෙම මැදිරි නිෂ්පාදන තුළ විශාල පිරිසක් කටයුතු කරයි. චිත‍්‍රාගාර කළමනාකරු, කලා අධ්‍යක්ෂක, අංග රචනා ශිල්පී, කැමරා ශිල්පී, කැමරා සහයක, ශබ්ද පරිපාලක, මයික්‍රොෆෝන කි‍්‍රයාකරු, තැටි පටි ධාවන කි‍්‍රයාකරු, විශේෂ ප‍්‍රයෝග ශිල්පි, වීඩියෝ පට සංස්කරණ ශිල්පී ආදී විශාල පිරිසක් මේ තුළ කටයුතු කරයි. අවශ්‍යතාවයට අනුව පිරිස අඩු වැඩි වීම සිදු වේ. මෙවැනි මැදිරි නිෂ්පාදනයකදී බාහිර මෙන්ම අනවශ්‍ය කාලය, ශ‍්‍රමය, මුදල් වැය නොවේ. සෑම උපකරණයක්ම සූදානම් කර ඇති නිසා අවශ්‍යතාවය පරිදි මෙහෙය විය හැකිය. බොහෝ උපකරණ සවිකර ඇති බැවින් අනවශ්‍ය වෙහෙසක් ගත යුතු නැත. තාක්‍ෂණය ඉහළින්ම භාවිත කරයි. අව් වැසි, වෙනත් පාරිසරික, බාහිර බාධාවන් එල්ල නොවේ. සියලුම දෙනා ඉහළ දැනුමකින් පිරිපුන් අය බැවින් නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉතා ඉහළය. සියලුම දේ ඉහළම කළමනාකාරීත්වයකින්, පූර්ව සැලසුමකට අනුව සිදුවන බැවින් මෙම ක‍්‍රමය මගින් වඩාත් නිර්මාණශීලී හරවත් වැඩසටහන් නිෂ්පාදනය කළ හැකිවේ.
images.jpg800px-BBC_HD_SNG.jpgරූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයට යොදාගන්නා සිව්වන ක‍්‍රමය බාහිර විකාශන නිෂ්පාදන ක‍්‍රමයයි. Outside Broadcasting Production (OB)  යන කෙටි යෙදුමෙන් හඳුන්වන්නේ මෙයයි. මෙම ක‍්‍රමය ඉහතින් දැක්වූ ක‍්‍රම තුනටම වඩා අතිශය සංකීර්ණය. මෙහිදී සිදුවන්නේ මැදිරියෙන් බැහැරට ගොස් නිෂ්පාදනය කරන වැඩසටහනක් එවෙලේම සජීවී ලෙස විකාශනය කිරීමය. මෙහිදී දර්ශන තලය තුළට මැදිරිය රැගෙන යාමක් සිදුවෙයි.





.බී නිෂ්පාදන ඒකකයක් මැදිරියක් හා සමානය. මැදිරියක සතු සියලුම උපකරණ මෙම රථය තුළ ඇත. මෙම උපකරණ සවිකල බස්රථයක් මේ සඳහා යොදාගනී. එය සාමාන්‍ය බස් රථයක් නොවේ. අදාළ මාධ්‍යයටම ආවේණික වූ අති සංකීර්ණ කාර්යයක් ඉටු කරන රථයකි. මේ තුළ කැමරා උපකරණ, දෘශ්‍ය සංකලන පුවරු, ශ‍්‍රව්‍ය සංකලන පුවරු, පටිගත කිරීමේ උපකරණ, Talk Back උපකරණ, විදුලි ඝනක යන්ත‍්‍ර, දර්ශන තිර, ආදී සියලුම දේ මෙය තුළ සවි කර ඇත. විදුලි ලාම්පු හැර මැදිරියක ඇති සියලුම දේ මෙම  .බී රථය තුළ දක්නට ඇත. පාලක මැදිරියක්ද මේ තුළ දක්නට ඇත. (චන්ද්‍රසිරී :2007. 82)
OB ක‍්‍රමයට වැඩසටහන් නිෂ්පාදනය කරන විට භාවිත කරනුයේ බහු කැමරා ක‍්‍රමයයි. එසේම විශාල වූ කාර්ය මණ්ඩලයක් මෙයට සහය වේ. මැදිරි නිෂ්පාදන වලදී කටයුතු කරන පිරිස සේම පිරිසක් සමහර අවස්ථාවලදී ඊට වඩා කාර්යය මණ්ඩලයක් මෙයට සහභාගී වේ. බාහිර විකාශන ක‍්‍රමය මගින් අනාවරණය කරනුයේ විශාල ලෙස සංවිධානය කළ වැඩසටහන්ය. කී‍්‍රඩා තරග, අවුරුදු උත්සව, ජාතික උත්සව, රාජ්‍ය උත්සව, විශාල සම්මන්ත‍්‍රණ, සංගීත සංදර්ශන ආදී අවස්ථා සජීවී ලෙස විකාශනය කිරීමට හෝ අවශ්‍යය නම් පටිගත කිරීමටද මෙම  .බී ක‍්‍රමය භාවිත කරයි. ඉහළ තාක්ෂණයක් හා දක්‍ෂ කාර්ය මණ්ඩලයක් මේ සඳහා දායකවෙයි. මූලිකවම සැලසුමක් සහිතව මෙම වැඩසටහන් නිෂ්පාදනය කරයි. අදාළ වැඩසටහනට පෙර දවසේ අධ්‍යක්‍ෂක, නිෂ්පාදක ඇතුළු පිරිස අදාළ ස්ථානයට ගොස් සියලුම දේ නිරීක්ෂණය කරයි. කැමරා සවිකළ හැකි ස්ථාන, පසුතල, ආලෝකය, වෙනත් පහසුකම් ආදිය විමසා බලයි. සමහර අවස්ථාවලදී කැමරා සවිකළ ජංගම රථ ද භාවිතා කරයි. ධාවන තරඟ ආදි අවස්ථාවලදි මෙලෙස කැමරා සවිකළ ජංගම රථ ඒ පසු පස ගමන් කරමින් රූගත කිරීම් සිදුකරයි. එබැවින් මෙම ක‍්‍රමය ඉතාමත් සංකිර්ණ, අධික වියදම් සහගත හා මනා වූ සැලසුමකින් නිෂ්පාදනය කළ යුතු ක‍්‍රමයකි.
කැමරා හරහා එවනු ලබන දර්ශන  .බී. රථය මගින් ලබාගෙන ආසන්නයේ ඇති ප‍්‍රථි විකාශන මධ්‍යස්ථානයට සංඥා යොමුකර හරහා ප‍්‍රධාන විකාශන මධ්‍යස්ථානයට සම්පේ‍්‍රෂණය කර, එහි සිට වැඩසටහන රටපුරා විසුරුවා හරිනු ලබයි. වැඩසටහන රූපවාහිනී විකාශන මධ්‍යස්ථානය අසලක නිෂ්පාදනය කරන විට අදාළ සංඥා භූගත කේබල් මගින් ප‍්‍රධාන පාලන මධ්‍යස්ථානයට යොමුකර විකාශනය කරනු ලබයි. සමහර දුර ප‍්‍රදේශවල වැඩසටහන් නිෂ්පාදනය කරන විට උස් ගොඩනැගිලි, කඳුමුදුන් ආදිය නිසා තරංග යැවීමට බාධා ඇතිවේ. එවිට විශේෂ ඒරියල් මගින් එම සංඥා ප‍්‍රධාන විකාශන මධ්‍යස්ථානය වෙත යොමු කරයි.
අධ්‍යක්‍ෂවරයාගේ සිට රියදුරා දක්වාම සියලුම කාර්ය මණ්ඩලය මෙයට සහය වේ. මෙම ක‍්‍රමයට වැඩසටහන් නිෂ්පාදනය අතිශය බැරුම්ය. මන්ද මැදිරියෙන් බාහිර නිසා බාහිර ඇතිවන සියලුම බාධාවන් එල්ල විය හැකිය. ස්වභාවික බාධාවන් විශාලය. සියලුම දේ මර්දනය කරමින් ඊට නොබියව මුහුණ දෙමින් අදාළ වැඩසටහන නිවැරදිව හා පූර්ව ලෙස පේ‍්‍රක්ෂකයාට ලබාදීමට අධ්‍යක්‍ෂක ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය වෙහෙස වෙයි. හොඳ දර්ශන හා නිවැරදි ශබ්ද ලබාදෙමින් වැඩසටහනේ ගුණාත්මකභාවය හා කලාත්මක බව රැකගැනීම සමස්ත කාර්ය මණ්ඩලයේ වගකීම වෙයි.
මේ ආකාරයට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේදී අනුගමනය කරන මූලික නිෂ්පාදන ක‍්‍රම හතර දැක්විය හැකිය. ENG, EFP, Studio සහ OB යන මෙම නිෂ්පාදන ක‍්‍රම සමහර අවස්ථා වලදී දෙක තුනක් හෝ සංකලනය කරමින් වැඩසටහන් නිෂ්පාදනය කරනු ලැබේ. විවිධ වැඩසටහන් වල ස්වභාවය අනුවය. කෙසේවුවද අද වන විට රූපවාහිනී නාලිකා මෙම මූලික ක‍්‍රම හතර මගින් වැඩසටහන් නිෂ්පාදනය කරනු ලබයි.

Reference
බෝගමුව, චන්ද්‍රසිරි, (2007) රූපවාහිනි විද්‍යාව හා කලාව, මුල්ලේරියාව, විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
 http://en.wikipedia.org/wiki/Television_production ,2013.01.05/06 – 1.55 P.M / 10.28 A.M.
http://en.wikipedia.org/wiki/Television_studio  2013.01.05/061.55 P.M / 10.28 A.M.
http://en.wikipedia.org/wiki/Outside_broadcasting 2013.01.05/061.55 P.M / 10.28 A.M.
http://en.wikipedia.org/wiki/Electronic_News_Gathering 2013.01.05/061.55 P.M / 10.28 A.M.

No comments:

Post a Comment